Tuesday, August 8, 2017

කාගෙත් සුවදුක් බැලූ ෆැක්ස් යන්තරේ

අන්තර්ජාලය ප්‍රචලිත වීමට මත්තෙන් 90 දශකයේදී සහ 2000 වර්ශ ආසන්නයේදී ලංකාවේ සෑම කුඩා උපනගරයක් ආසන්නයේම පාහේ කොමියුනිකේශන් නමින් හැඳින්වුනු කුඩා සන්නිවේදන මධ්‍යස්ථාන විය. ඒවායේ කළු සුදු ඡායා පිටපත් ගැනීම, දුරකථන ඇමතුම් ලබාගැනීම මෙන්ම බොහෝවිට ෆැක්ස් සේවාවද මහජනයාට විවෘත විය. අද මෙන් ලේඛනයක් තැනකින් තැනකට යැවීම සරල නොවූ එකල ජනයා සිංහල ලිපි ලේඛන තැන තැන යැවීම පිණිස ෆැක්ස් යන්ත්‍ර භාවිතා කලෝය.

ෆැක්ස් යන්ත්‍රයේ මූලික අංගය වූ කලී තැනකින් තවත් තැනකට කලු සුදු ඡායාරූපයක් සම්ප්‍රේෂණය කිරීමය. හඬ ප්‍රචාරණය කිරීමට ටෙලිෆෝනය තිබූ අතර ඉංග්‍රීසි බසින් වදන් තැනකින් තැනකට යැවීමට ප්‍රාථමික වුවද වඩාත් බහුල ලෙස භාවිතයට ගත් ටෙලෙක්ස් ටෙලිප්‍රින්ටර් නැමැති ක්‍රමවේද භාවිතා විය. අද කාලයේ වුවද පරිගනකයේ හෝ ස්මාට්ෆෝනයේ සිංහල බසින් යමක් ලියාගත නොවුන කල්හි ඇතැම් අය කොල කැබැල්ලක සිංහල අකුරු ලියා එය සේයාරුවක් ගෙන යැවීම හෝ එය සිංග්ලිෂ් බසින් යැවීම සිදුකරනු දැකිය හැකිය.
ෆැක්ස් යන්ත්‍රයේ උපත හෙවත් මුල්ම අදහස ගෙනහැර දක්වා ඇත්තේ ඇලෙක්සැන්ඩර් බේන් විසින් 1843 දීය. එනම් ටෙලිෆෝනය සොයාගන්නට වසර 30කට පෙර සිටය. එහෙත් ෆැක්ස් යන්ත්‍රය වඩාත් දියුනු තියුනු වී භාවිතයට පැමිණියේ 1970-80 දශකවලදීය.
ඉංග්‍රීසි අකුරු මෝස් කේත, ටෙලිග්‍රාෆ් හරහා එ අයුරින්ම යැවිය හැකි වුවද කෙමෙන් දියුනු වෙමින් පැවති ජපන් ජනයාට සිය අවශ්‍යතා සදහා ජපන් බස ඇතුලත් ලේඛන තැනකින් තැනකට යැවීමට ක්‍රමයක් දියුනු කරගන්නට උවමනා විය. ඔවුන් ඒ සඳහා ෆැක්ස් යන්ත්‍රය දියුනු කරන ලදී. ඊට අමතරව බැංකුකරණය සහ වාණිජ කටයුතු වර්ථමානයේ මෙන් වර්ශ 2000ට එපිටදී පරිගණක මගින් ජාලකරණයට ලක් වි තිබුනේ නැත. එබැවින් මුදල් ගනුදෙනු සහ විවිධ වානිජමය කාර්යයන්ට අවශ්‍ය අත්සන් සහ සහතික කිරීම් ලබාගැනීම පිණිස ෆැක්ස් යන්ත්‍රය එම යුගයේදී මහඟු උපකාරයක් කල යන්ත්‍රයක් විය.
නූතනයේදී ඩිජිටල් ක්‍රමයට වැඩිදියුනු කරන ලද ෆොටෝකොපි යන්ත්‍ර හරහාද ෆැක්ස් පනිවුඩ යැවීමේ පහසුව ලැබී තිබේ. සාමාන්‍ය ක්‍රමයට  ෆැක්ස් පණිවුඩය යැවෙන්නේ සාමාන්‍යය පැරණි ටෙලිෆෝන පද්ධතිවල අපගේ හඬ තැනකින් තැනකට යනවාක් වැනි වූ ඇනලොග් සංඥා මාර්ගයෙනි. එනම් යැවෙන තරංගය අනුව කඩදාසියේ මෙතැන හිස්ය මෙතැන සුදු විය යුතුයැ යන සංඥාව අනෙක් පසට සම්ප්‍රේෂණය කරනු ලැබේ.ඒ සංඥා වලට අනුකූලව ෆැක්ස් යන්ත්‍රයට යොදා ඇති විශේෂ තාපන කඩදාසි මගින් පිටපතක් ලබාදෙනු ලැබේ.
අන්තර්ජාලය නැමැති මහා තොරතුරු අතිරික්තය අද මෙන් ජනප්‍රිය නොවූ 20 වන සියවස තුලදී ප්‍රවෘත්ති ප්‍රචලිත වූ මූලික ක්‍රමයක් ලෙස පුවත්පත දැක්විය හැකිය. තාක්ෂණයේ කෙතෙරම් හැඩහුරුකම් පැමිණියද අද දක්වා නොනැසී පවතින පුවත්පත , තැනකින් තැනකට වේගයෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට ගෙන යා හැකිනම් ප්‍රවෘත්ති ආරංචි  ඉක්මනින් පාඨකයාට ලබාදිය හැකි යැයි එකල විදුලි සංදේශ නිපැයුම් කරුවෝ සිතූහ. ඒ ඔස්සේ ෆැක්ස් තාක්ෂණයෙන් පුවත් පත් යැවීමේ විධිවිධාන සැකසුනද එය එතරම් ප්‍රචලිත වූ ක්‍රමයක් නොවීය.
නවීන ඡායාපිටපත් පරිලෝකන යන්ත්‍ර මගින් ෆැක්ස් යැවීම දියුනු වීමට ප්‍රථම ෆැක්ස් වලට යෙදූයේ කඩදාසි රෝල්ය. ඒ කඩදාසි තාපය යෙදිමකින් ඉක්මනින්ම පිටපතක් ලබගැන්මේ හැකියාවකින් යුක්ත වේ. නූතනයේ අප රට බස් රිය ටිකට් යන්ත්‍රවල, ක්‍රෙඩිට් කාඩ් භාවිත යන්ත්‍රවල සහ ඇතැම් බිල් නිකුත් කරන ස්ථානවල ඇත්තේ මෙම සැනෙන් මුද්‍රනය වන තාපන කඩදාසි රෝල් ය.
ෆැක්ස් යන්ත්‍රෙය් අවාසි
ෆැක්ස් යනු සාම්ප්‍රදායික දුරකථන ජාලා හරහා ක්‍රියාකරන යෙදවුමකි. අද මෙන් සබදතාවය උවමනා වූ කල  වයිෆයි නැතහොත් මොබයිල් සිග්නල්..එහෙමත් නැත්නම් යාලුවෙක්ගේ වයිෆයි එකක් සම්බන්ධ කරගෙන පණිවුඩ යැවිමේ ජංගම ශක්‍යතාවයක් ෆැක්ස් යන්ත්‍රයට නැත.එයට නියමිත අවකාශයක් සහ ස්ථාවර සම්බන්ධතාවයක් තිබෙන අතර අප ෆැක්ස් යන්ත්‍රය අසලට ගොස් පනිවුඩය එය හරහා යැවිය යුතුය. මෙය පැරනි තැපෑලේ යම් හැඩහුරුකමක් ද ඇති ගුණයකි. එනම් අපි ලිපියක් තැපැල් කිරීමට තැපැල් පෙට්ටියට එය දැමිය යුතු අතර ලිපිය ලබාගැනීමට නම් අප හෝ නියෝජිතයෙකු තැපැල් බෙදන්නා පැමිණි විට නිවසේ සිටිය යුතුය.
සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍රයක් හරහා වරකට යැවිය හැකි හෝ ලබාගත හැකි වන්නේ එක් ලිපියක් පමණි.. නූතන ඊමේල් හුවමාරුවේදිත් පුරාතන ලිපි ගනුදෙනු වලදිත් සතර අතින් විවිධ දෙසින් එන ලිපි රැසක් එකවිට ලබාගැනිමේ හැකියාව තිබේ. එහෙත් සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍ර ලිපි කිහිපියක් එකවර මුද්‍රනය කරන්නට හෝ ලිපි කිහිපයක් එකවර යවන්නට හැකියාවක් නැති හැඩහුරුකම අනුව තරමක් තද ගති ඇති පැරැන්නෙකි.
ෆැක්ස් යන්ත්‍රයෙහි වාසි
ෆැක්ස් යනු ලිපි ලැබෙන ක්‍රමයකි. නූතනයේ නම් ඊමේල හරහා ලිපි ලැබෙන අතර පෙරකල තැපෑල හරහා ලිපි ලැබුනි. ඒ ක්‍රම දෙකේදීම ලැබෙන ලිපි එකවරම දැකගැනීමට හැකියාවක් නැත. ඊමේල් තාක්ෂණයේ වුවද විවිධාකාර ස්පෑම් සිහිකැඳවීම් ආදි මේල් සිය ගනනක් අතර පැමිණි වැදගත්මේල් පණිවුඩය තෝරාගත යුතුය. කාර්යාලයයක නම් ලිපි වුවද ලිපි ගොන්නක් ලැබෙන කල එකිනෙක තෝරා අපට අදාල ලිපිය තෝරාගැනීමට තරමක් කාලයක් ගත වේ. එහෙත් ෆැක්ස් යම්තැනකින් ඇමතුමක් මගින් දැනුම් දුනහොත් එවෙලේම එම අවශ්‍ය ලිපිය හෝ ලේඛනය අපිට මුද්‍රණය වන අවස්ථාවේදීම දැකගත හැකිය. සයිබර් අවකාශය තුල ඇතිවන විවිධ ආක්‍රමණශීලි වෛරස ආසාදන හේතුවෙන් ඇතිවිය හැකි සංකීර්ණ උවදුරු ෆැක්ස් යන්ත්‍රය නැමැති සරල උපකරණය තුල නැත. ඊමේල් හැක් වී, පාස්වරඩ් අමතක වී මේල් බොක්ස් පිරී ඉතිරී ගොස් හෝ අවැසි පණිවුඩය තෝරා කාලය බොහෝ සෙයින් කැප කරන විට අහා ..පැරණි ෆැක්ස් තිබුණි නම් කොතරම් වාසිදැයි සිතේ.

නූතන සයිබර් අවකාශය තුල ඡායාරූපයක් තැනකින් තැනකට යැවීමට ඇති ක්‍රම සහ යෙදවුම් සංඛ්‍යාව ඉතා දීර්ඝ ලැයිස්තුවකි. එහෙත් 1980-2000 කාලය තුල ලිපියක් තවත් තැනකට සැනින් යැවිය හැකි අරුම පුදුම යන්ත්‍රයක් වී නම් ඒ ෆැක්ස් යන්ත්‍රයම විය. ලිපිය සිංහලද ඉංග්‍රීසිද? එය ලියා ඇති එකක්ද මුද්‍රනය කොට ඇති එකක්ද කටු සටහනක්ද නිවාස සැලසුමක්ද ආදී කිසිදු වෙනසකින් තොරව ෆැක්ස් යන්ත්‍රය අපසතු ලිපි ලේඛන සැලසුම් ආදිය තැනකින් තැනකට ගෙනගොස් දුන් මහාර්ඝ යන්ත්‍රයක් ම විය.
වර්ශ 2017ක් වූ අගෝස්තු මස 05වන සෙනසුරාදා දිනමිණ සති අන්තයේ 17 පිට වයර් අකුරු හි මෙලිපිය පළවිය.

7 comments:

  1. පිංතූරයේ තියෙන්නේ ටෙලෙක්ස් යන්ත්‍රයක් නේද?

    ReplyDelete
  2. ඔය තර්මල් ප්‍රින්ටින් වල තව අවාසියක් තමයි වැඩි කාලයක් යන්න ඉස්සර අකුරු මැකිල යන එක. කියෝල විසිකරන එකක් නෙමෙයිනං ෆැක්ස් ප්‍රින්ට් එකේ ෆොටෝ කොපියක් ගහල තියාගන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත..ඉස්සඅපිත් ඕ ව පොටෝකොපි ගහල ෆයිල් කලා...

      Delete
  3. ඔන්න මරු ඩබලම් ඉන්නවා උඩ කොමන්ට් දාලා...... කෝ කෝ කව්ද... අපි දන්නේ නෑ

    ReplyDelete
  4. ෆැක්ස් කරනෙක වෙලාවකට මහ එපා වෙන වැඩක්.

    ReplyDelete